නාරම්මල ප්‍රා. සබේ උප සභාපති අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නාරම්මල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පළ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
උප සභාපතිවරයා ඊයේ (29) පොලිස් ස්ථානය වෙත යතුරුපැදියකින් පැමිණ ඇති අතර, පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිට ඇතැයි පොලිසිය කියයි.
 
කොස්තාපල්වරයා එම අවස්ථාවේ දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිට ඇතැයි ද මන්ත්‍රීවරයාව ගණන් නොගත්තේ යැයි උරණව මෙම පහරදීම කර ඇතැයිද පොලිසිය කියයි.
 
පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
 
උප සභාපතිවරයා කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.