නායයාමේ අවදානම් හේතුවෙන් පවුල් 28ක් ඉවත් කෙරේ


(ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූනාගල අම්පිටිකන්ද වතුයායේ දැඩි නායයාමේ අවදානම් මතුවීම නිසා එම වතුයායේ පදිංචි පවුල් 28ක සාමාජිකයන් අනූවක් අද (30) හවස වතු නිවාසවලින් ඉවත් කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙසේ ඉවත් කළ පවුල් 28ක සාමාජිකයින් 90 දෙනෙකු මේ වනවිට පූනාගල මාකන්ද තේ කර්මාන්ත ශාලාවේ තාවකාලිකව නතර කර තිබේ.

දහවල් කාලයේ සිට ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මෙම වතු නිවාසවලට ඉහළින් පිහිටි කඳු වැටියෙන් ගල් හා පස් කඳු කඩා වැටීමත් සමග මෙම වතු නිවාසවලින් පහළ පිහිටි නිවාසවලින් පදිංචිකරුවන් ඉවත් කර තිබේ.

මෙම අම්පිටිකන්ද වතුයාය මීරියබැද්ද නායයෑමට ලක්වූ ප්‍රදේශයට ඉතාමත්ම ආසන්නයෙන් පිහිටා තිබීම නිසා නායයෑමේ අවදානම මතුවීමත් සමඟ මෙම පවුල් ඉවත් කර ඇතැයි පොලීසිය කියයි.

(ඡායාරූප - හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)