
(*** නිමන්ති රණසිංහ)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් හෙරොයින් ජාවාරමට අමතරව පාතාල සාමාජිකයන් සමග එක්වී ගිනි අවි ජාවාරම් සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (12) කරුණු අනාවරණය කළේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “පොඩි ලැසී” ගේ සහචරයකු වන ගිහාන් සාරංග සහ ප්‍රභාත් දේවින්ද යන අය සන්තකයේ තිබී හෙරොයින් සහ ගිනි අවි අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මෙම කරුණු අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන නාකොටික් නිලධාරීන් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය.
මෙම ජාවාරම් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර නාකොටික් පොලිස් නිලධාරීන් 13 දෙනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවත් බන්ධනාගාරය වාර්තාවක් මගින් අධිකරණය දැනුම්වත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරීන් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළු සැකකරුවන් 23 දෙනකු සිටින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, උපපොලිස් පරීක්ෂක උපාලි, උපපොලිස් පරීක්ෂක විජේසූරිය යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සැකකාර නාකොටික් නිලධාරීන් ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා මාතර සිට මිනුවන්ගොඩ දක්වා ප්‍රවාහනය කර ඇති හෙරොයින් කිලෝ 130ක ප්‍රමාණයෙන් හෙරොයින් කිලෝ 11ක්, පිස්තෝල අවි දෙකක් සහ ටී 56 ගිනි අවි දෙකක් ප්‍රභාත් දේවින්ද නමැත්තා සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පොඩි ලැසී යන අයගේ ගෝලයකු වන ගිහාන් සාරංග යන අය සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 12ක්, ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් අත්අඩංගුවට ගත් අතර මෙම කරුණු ඔස්සේ සිදුකළ විමර්ශනවලටට අනුව සැකකාර නාකොටික් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව පාතාලය සමග ගිනි අවි ජාවාරම් සිදුකර ඇතැයි කරුණු හෙළිවී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාර නාකොටික් නිලධාරීන් වැටලීමක් ලෙස බලපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් 240ක ප්‍රමාණයට අදාළව ගිනි අවි 5ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබූ අතර, ඉන් එක් පිස්තෝලයක් මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත භාරයේ තිබී අත්අඩංගුවට ගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
මෙම පොලිස් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ 45ක් සහ අදාළ පිස්තෝලය විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ භාරයට දී තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බවත් අනෙක් පිස්තෝල වර්ගයේ ගිනි අවි හතර “බඩෝවිට ලොකූ“ නමැත්තාට දී ඇති බවට කරුණු අනාවරණය වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.
ඒ අනුව එම පිස්තෝල වර්ගයේ ගිනි අවි හතර ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ තිබී කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බවත් මිනුවන්ගොඩ හෙරොයින් කිලෝ 130 සිද්ධියේ විමර්ශන අවසන්ව ඇති අතර බලපිටිය ප්‍රදේශයේ හෙරොයින් කිලෝ 240 සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකරමින් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ තම සේවාදායකයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාස එකහමාරක පමණ කාලයක සිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ මත පමණක් තම සේවාදායකයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ය. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත මුල සිටම ඉදිරිපත් කරන වැඩිදුර වාර්තාවල යම් යම් පරස්පරතාවක් පවතින බවද නීතිඥ පතිරණ මහතා සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර නාකොටික් නිලධාරීන් ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරිම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම සිද්ධියේ දී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක විමලසේන ලයනල්, උපපොලිස් පරීක්ෂක සීක්කුවාවසම් ගයාන් තරංග ප්‍රේමරත්න සිල්වා, උපපොලිස් පරීක්ෂක දහනායක රාළලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් (15819) මුතුබණ්ඩාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් (61756) වතුකාරගේ චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් (69351) විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියන්කර ජයසේන, පොලිස් කොස්තාපල් (73684) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (74811) රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, පොලිස් කොස්තාපල් (84346) චිත්‍රආචාරිගේ සමීර ප්‍රදීප් කුමාර, පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි සහ පොලිස් කොස්තාපල් (87226) හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයසිංහ යන අයවලුන්ය.
මෙම සිද්ධියටම අදාළව නාකොටික් නිලධාරීන් 11 දෙනා සම්බන්ධ මුදල් විශුද්ධීකරණය නඩුව ද ඊයේ (12) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් ලබන 26 වැනිදා තෙක් එම නඩුවට අදාළව තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණය නියෝග කළේය.
එම සිද්ධියට අදාළ නාකොටික් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් වාහන සහ දේපළ මිලදීගෙන ඇත්තේ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ නමින් බවට මේ වන විට කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම, සැකකාර නාකොටික් නිලධාරීන් සන්තකයේ තබාගෙන සිටි බව කියන ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් වන නඩුවට අදාළ සැකකාර නාකොටික් නිලධාරීන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද අධිකරණය නියෝග කළේය.


