(*** ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ සිද්ධියේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා වගකීමෙන් ක්‍රියා කළේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ (23) පැවසීය.
තමන් යටතේ සේවය කරන නිලධාරීන් සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් පරිපාලන ව්‍යුහය අනුව ඉහළ නිලධාරීන්ට වගවීමක් ඇති බවත් මෙම සිද්ධියේදී එම ඉහළ නිලධාරීන් දෙදෙනාගේ එසේ වගවීම පිළිබඳ දෝෂයක් ඇති බව මෙම ක්‍රියාවලියෙන් හෙළිවී ඇති බවත් ඔහු කීය.
මෙම නිලධාරීන් අතරින් වගවීම පැහැර හැරීමක් සිදුවී ඇති ද එසේනම් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ජාතික පොලිස් කොමිෂන් සභාව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා අධ්‍යක්ෂවරයාට පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව ස්ථාන මාරුවීම් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට අපරාධමය චෝදනා එල්ලවී නොමැති බවත්, එසේ කිරීමට නම් අපරාධමය චෝදනාවල අඩංගු කරුණු සාක්කි මගින් තහවුරු කළ යුතු බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හුදු සැකයක් මත පමණක් කිසිදු තැනැත්තකුට අපරාධමය චෝදනා එල්ල කළ නොහැකි බව ද සඳහන් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනකුට මෙම චෝදනා එල්ලවීමෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ලවී නොමැති බවත් නිලධාරීන් කිහිපදෙනකු ඔවුන් කෙරෙහි ඇති විශ්වාසය පළුදු කරමින් ඔවුන්ට දී තිබූ බලය අයථා ලෙස පාවිච්චි කරමින් මෙම කටයුතුවල නිරතවී ඇති බවත් හෙතෙම පැවසීය.
ඔවුන්ගේ මෙම ක්‍රියාව අනාවරණය වූ පසුව නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් මේ පිළිබඳව අපක්ෂාතී පරීක්ෂණයක් ද සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
නුගේගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු සඳහන් කළේය.

