(ඔගස්ටින් ප්‍රනාන්දු)
මසුන් මැරීමට මුහුදු ගිය ධිවරයින් 200ක් පමණ පිරිස සහිත බහුදින යාත්‍රා 30 ක් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත අද (19) උදෑසන වන විට දිවයිනට ළඟාවීමට නොහැකිව මුහුදේ අතරමංව සිටින බවත්, එම ධීවරයින් ගෙන්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මෙම යාත්‍රා දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන්ගෙන් ජාත්‍යන්තර මුහුදෙහි මසුන් මැරීමට ගොස් ආපසු දිවයින කරා යාත්‍රා කරමින් සිටියදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ප්‍රචණ්ඩ මුහුදෙහි අතරමංව ඇත.
මෙම යාත්‍රාවන්ගෙන් බහුතරය හලාවත ධීවර කලාපයේ ඒවා වන අතර මීගමුව හා දික්ඕවිට ප්‍රදේශවල යාත්‍රා ද වෙයි.
මෙම යාත්‍රාවල ධීවරයින්ට ආරක්ෂිත මුහුදු කලාපය මාලදිවයින් මුහුද කලාපය බවත් ඊට නිසි අවසරයකින් තොරව ඇතුළත්විය නොහැකි බැවින් තමන් ඒ සඳහා නිසි අවසරය ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ ඒකකයෙන් ඉල්ලා ඇති බවත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා මේ අතර පැවැසීය.
එම සමිතියේ ඉල්ලීම අනුව මෙම සම්බන්ධයෙන් වහාම මැදිහත්ව රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලා යැවු බවත් පුත්තලම ඒකකය කියයි.

