
(සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද පැමිණ සිටියේය.
ධීවර යාත්‍රාවේ හිමිකරු පවසන්නේ පියාඹා පැමිණි මෙම පක්ෂියා තම බෝට්ටුවේ වසා ඇත්තේ දින 12කට පමණ පෙර බවයි.
පක්ෂියා එළවා දැමීමට උත්සාහ ගත්තද ඉවත්ව නොගිය බැවින් මසුන් කන්නට දී ඇති බවත් වරායට පැමිණෙන තුරුම එම පක්ෂියා බෝට්ටුවේ වසා සිට ඇති බවත් ඔහු පවසයි.
වෙස් සුලාවියා හෙවත් වත නිල් සුලාවියා ලෙස හඳුන්වන මෙම පක්ෂියා ඉංග්‍රීසි භාෂාවෙන් Mask booby ලෙස ද සත්ත්ව විද්‍යාත්මකව Sula dactylatra නමින් ද හඳුන්වයි.
සුළඟ ආධාරයෙන් විශාල දුරක් පාවී යාමට හැකි ආකාරයෙන් සකස් වූ පියාපත් සහ සිරුරු හැඩයකින් යුතු මොවුන්ගේ පෙනුම අනුව හොටය මුහුණට පැළඳූ මුඛ ආවරණයක් මෙන් දිස්වන බැවින් ඔවුන්ට Mask booby නම ලැබී ඇත.
ප්‍රධාන ගොඩබිම්වලට බොහෝ ඈතින් පිහිටි කුඩා දූපත්වල වෙසෙන මොවුන් පැතළි බිම්වල බිත්තර දමයි. මසුන් දඩයම් කිරීම සඳහා අධිවේගයෙන් මුහුදු ජලයට ඇතුළුවන මොවුහු දක්ෂ කිමිදුම්කරුවෝ ද වෙති.
කොළඹ විශ්විවද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා පවසන්නේ මෙම පක්ෂීන් නිරිතදිග මෝසම් සුළං ක්‍රියාත්මක වන මෙම කාලයේ දී ශ්‍රී ලංකාව වටා ඇති මහද්වීප තටාකයේ සිදුවන රළ නැගීම් සමඟ මසුන් දඩයම පහසුවන බැවින් ඒ අවට මුහුදට පැමිණෙන බවයි.

