
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් මහත්මිය අද (23) නියෝග කළාය.
ඩවුනින්ග් සෙන්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ අද (23) නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එමා සුලිවාන් මහත්මිය ඇප කොන්දේසි 2 ක් ලිහිල් කිරීම සඳහා අයැදුම්පතක් ගොනු කර තිබිණ.
පළමුවැන්න ලෙස වට්ස් ඇප් මෘදුකාංගය භාවිත කිරීමට අවසර ඉල්ලා සිටි අතර වට්ස් ඇප් මිතුරන් හඳුනාගන්නා මෘදුකාංගයක් නොවන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන බව මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් මහත්මිය ප්‍රකාශ කළාය.
නමුත් ධනුෂ්ක ගුණතිලකට වට්ස් ඇප් මෘදුකාංගය හැර අනිකුත් මිතුරන් හඳුනාගන්නා මෘදුකාංග සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් වේ.
දෙවැන්න ලෙස ඇඳිරි නීතිය සහ බලාත්මක කිරීමේ කොන්දේසි ඉවත් කරන ලෙස සුලිවාන් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.එහිදී දැඩි ඇප කොන්දේසි කඩ නොකිරීම හේතුවෙන් ඇඳිරි නීතිය ඉවත් කරන බව මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් මහත්මිය සඳහන් කළාය.
ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පසුගිය නොවැම්බර් මස දැඩි ඇප කොන්දේසි මත සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දීමට නියෝග කළේය.
මෙම නඩුව නැවත වරක් ලබන අප්‍රේල් මස කැඳවීමට නියමිතව ඇත.

