දෝෂාභියෝගයෙන් පැරදුණු ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ


(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග එරට අගමැති මයිකල් බාර්නියර් අද උදෑසන ජනාධිපති ඉමානුවෙල් මැක්රොන් එලීසේ මාළිගයේදී මුණගැසී සිය ඉල්ලා අස්වීම බාරදී ඇත.

ඒ සමග නූතන ප්‍රංශ ඉතිහාසයේ අඩුම කලක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට මයිකල් බාර්නියර් පත්වූවේය.

පෙරේදා(05) අගමැති මයිකල් බාර්නියර් ප්‍රමුඛ රජයට එරෙහිව ප්‍රංශ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර එයට පක්ෂව එරට සිටින නීති සම්පාදකයින් 577 දෙනාගෙන් 331 දෙනකු ඡන්දය භාවිත කළේය.

ප්‍රංශයේ අයවැය පරතරය අඩු කිරීමේ චේතනාවෙන් බොහෝ කප්පාදු සිදු කරමින් මෙන්ම බදු වැඩිකරමින් කිසිවෙකුගේ සහාය නොලැබෙන අයවැයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම හේතුවෙන් ඔහුට සහ ඔහුගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් විණි.

විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග අගමැති මයිකල් බාර්නියර් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපති මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයකු පත් කරන තෙක් බාර්නියර් කැබිනට් මණ්ඩලයට රට ඉදිරියට ගෙන යාමේ කාර්ය පැවැරිණි.

ජනාධිපති මැක්රොන් ඊයේ(05) රාත්‍රියේ ජනතාව ඇමතීමට නියමිතව තිබූ පස්වරුව වනවිටත් අග්‍රාමාත්‍ය ධුරය සඳහා ප්‍රසිද්ධ නම් කීපයක් යෝජනා වී තිබිණි.