දෛනික වැටුප 1000 කිරීමේ අවසන් තීන්දුව මේ සතියේ


(විනීතා එම් ගමගේ)

වතුකම්කරුවන් සදහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දීම පිළිබදව අදාල පඩිපාලක සභා සමග සාකච්ඡා කර  ඉදිරි දෙසතිය තුළ තීරණයකට එළැඹීමට පියවර ගන්නා බවත් එහිදී තීරණය ගන්නට නොහැකි වුවහොත් පඩි පාලක සභා සාමාජිකයන්ගේ ඡන්දය විමසීමට පියවර ගන්නා බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප‍්‍රකාශ කළේය.

මේ සදහා තේ වැවීමේ හා සෑදිමේ කර්මාන්ත සදහා වූ පඩි පාලක සභාව සහ රබර් වැවීම හා පැලකිරීමේ කර්මාන්ත සදහා වන පඩි පාලක සභාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද චන්ද්‍රකිර්ති මහතා කිය.

රුපියල් දහසේ දෛනික වැටුප ගෙවීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් මේ සම්බන්ධව වෘත්තිය සමිති හා හාම්පුතුන්ගේ සමිති සමග ඉකුත් සිකුරාදා සාකච්ඡා කළ බවත් එහි දී එකඟතාවකට පැමිණිය නොහැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් පඩිපාලක සභා දෙක සමග වෙන වෙනම සාකච්ඡා කරන බවත් එහි දී එකඟතාවකට පැමිණිය නොහැකි නම් පමණක් එම පඩිපාලක සභාවන්හි සාමාජික ඡුන්දයෙන් තීරණයකට එළැඹෙන බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

එම පඩි පාලක සභාවන්හි වෘත්තිය සමිති නියෝජිතයන් අටදෙනෙක් ද, හාම්පුතුන්ගේ සංගම් නියෝජනය කරමින් නියෝජිතයන් අට දෙනෙක් ද, රජය නියෝජනය කරන නියෝජිතයන් තිදෙනෙක් ද වෙති. එම පඩිපාලක සභාවන් හි සභාපතිවරයා වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ය.