ඉන්දිකා රාමනායක
බුදුන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියෙන් පසු සිංගප්පූරුව බලා ගිය දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති හෙයින් ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හෙළිවන කරුණු අනුව මුදල් විශුද්ධිකරණය යටතේ ද විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
බුදුන් වහන්සේට සහ බුදු දහමටත් තවත් ආගම් කිහිපයකටත් අපහාස වන අයුරින් මහනුවර ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක දී ඔහු පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.
එම පැමිණිල්ලට අමතරව, දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේලා සහ විවිධ සංවිධානවලින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 6ක් ලැබී ඇත.
මෙම විමර්ශන අතරතුර දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉකුත් 15 වැනිදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද තහනම් නියෝගයක් නිකුත් කළේය.

