දෙවැනි රැල්ලක අවදානම මැද යුරෝපය අඟුළු අරී


නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කිරීමට යුරෝපයේ රටවල් රැසක් අද (4) පියවර ගත්තේය.

ඒත් සමඟ මිලියන ගණනක් යුරෝපීය ජාතිකයෝ නගරවලට පැමිණියහ. සීමා ලිහිල් කිරීමේ පියවරේ ඉදිරියෙන්ම සිටියේ වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ඉතාලියයි. යුරෝපයේ වැඩිම කාලයක් ‘ලොක්ඩවුන්’ සීමා පනවා තිබුණේ ඉතාලියේ වන අතර ඉතාලිය මාස දෙකක අධික කාලයක් රට වසා දමා තිබිණි.

අද (4) පස්වරු (5) වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ලක්ෂ 35 ඉක්මවා තිබිණි. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය ගණන 2,48,641ක් විය. සුව වූ සමස්ත සංඛ්‍යාව 11,61,089 කි.

ලොවපුරා බිහිසුණු සිහිනයක් වී තිබෙන ‘කොවිඩ්-19’ වසංගතය නිමා කරන බවට යම් බලාපොරොත්තුවක් දෙමින් මේ වසර අවසානයේදී එන්නතක් සූදානම් කිරීමට හැකිවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (3) පස්වරුවේ පැවැසීය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වනවිට රටවල් සහ පරිපාලන ප්‍රදේශ 219කට ව්‍යාප්ත වී ගොස් ඇත.
තාක්ෂණය දියුණු අතී නවීන නූතන ලෝකයේ කාලය අන් හැර සියල්ල නැවැතී ඇත. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලට කොටු වී සිටිති. ගෝලීය ආර්ථිකය අකර්මන්‍ය වී තිබෙන අතර මිලියන දස දහස් ගණනකට රැකියා අහිමි වී ඇත.

රටවල් විවෘත කිරීමත් සමඟ කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් ලෝක නායකයෝ ඇතුළු දේශපාලනඥයෝ අර්බුද රැසකට මුහුණ පා සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදයට පසු දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලිය අද (4) ඇතැම් සීමා ලිහිල් කළේය. සීමා ලිහිල් කිරීමත් ඉතාලියේ සැලකිය යුතු පිරිසකට වසන්තයේ හිරු රශ්මිය විඳ ගැනීමට අවස්ථාව සැලැසිණි. එරට ඇතැම් වැඩබිම් සහ කර්මාන්ත විවෘත කිරීමට ද පියවර ගෙන තිබිණි.

අවන්හල් විවෘත කළ ද ඒවායේ රැඳී සිට ආහාර ගැනීමට නොහැකි අතර කෝපි ඇතුළු පාන වර්ග අලෙවි කරන ස්ථාන සහ අයිස් ක්‍රීම් අලෙවි කරන ස්ථාන තවදුරටත් වසා දැමීමට ද ඉතාලි බලධාරීහු පියවර ගෙන ඇත.
පොදු ප්‍රවාහනය සීමා කර ඇති අතර මුණ ආවරණ පැළැඳීම අනිවාර්ය වේ.

055