මෙරට අධිකරණයේ විභාග වන විශේෂ නඩු හතරක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු හමුවේ කරුණු දක්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා අගවිනිසුරුවරයාට හා මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම්දීමේ සිද්ධිය සම්බන්ධව සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි දෙපාර්ශ්වයේම මැති ඇමැතිවරු කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඊයේ (24) ඉල්ලා සිටියහ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා විසින් කර ඇති මෙම දැනුම්දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) කරුණු අනාවරණය වූ අතර, කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (24) ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවට නිවේදනයක් ඉදිරිපත් කළේය.
කතානායකවරයාගේ නිවේදනය මෙසේය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ වීරවංශ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජික ක්ලෙමන්ට් නයලෙට්සෝසි වොයෙල් මහතාට අගවිනිසුරුතුමා සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් හමුවීම සඳහා අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් මා විසින් කරුණු සොයා බැලුවෙමි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අහමඞ් ඒ. ජාවිඞ් මහතාගේ ඉල්ලීම් පරිදි අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සුදුසු අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට ඇති බව මා හට දැන ගන්නට ලැබුණි.
මේ පිළිබඳව මගේ අදහස වනුයේ ද අදාළ නිලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත විසින් කරන ලද ඉල්ලීම පරිදි මෙවැනි අවස්ථාවක් ලබාදීමට කටයුතු කිරීම නොකළ යුතුව තිබූ බවයි.
ඒ අනුව ඒ අවස්ථාවේදීම අධිකරණ අමාත්‍යතුමියටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ටත් මෙම කරුණු පිළිබඳව දැනුවත් කොට වහාම සුදුසු පියවර ගන්නා ලෙස දන්වනු ලැබුවෙමි. ඒ අනුව මහාධිකරණ විනිශ්චයකාරවරුන් හමුවීම සිදු නොවුණු බව දැනගතිමි. අතීතයේදී ද මෙබඳු රාජ්‍ය තාන්ත්‍රිකයින් අගවිනිසුරුතුමන්ලා සමග සුහද හමුවීම් පැවැත්වී ඇති බව ද දන්වනු කැමැත්තෙමි.
මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ අමාත්‍යතුමියත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමාත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාත් ඇතුළු නිලධාරීන් අද දින මා හමුවූ බවත්, ඉදිරියේදී මෙවැනි දෑ සිදු නොවීමට වගබලා ගැනීම පිණිස අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.
දිනේෂ් ගුණවර්ධන මහතා:-
මෙහි ඇති බරපතළකම පිළිගෙන ඒ පිළිබඳව ක්‍රියාකාරී වීම ගැන කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කටයුතු කර ඇතැයි දැන් එළිදරව් වී තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයා උසස් නිලතල කමිටුව විසින් අනුමත කරන ලද වගකීමක් දරන කෙනෙක්. තමා බරපතළ වරදක් කරන්නට හවුල් වූ බව ඔහුත් පිළිගෙන තිබෙනවා.
ඔහුගේ උපදෙස් මත අතිරේක ලේකම්වරයා ගත් ක්‍රියාමාර්ගයක් ගැන අපට තොරතුරු ලැබුණ නිසා මේ සිද්ධිය පාර්ලිමේන්තුව හමුවට ගෙන එන්න ලැබුණා. එසේ නොවන්නට ස්වාධීන අධිකරණයේ විනිශ්චයකාරවරුන්ටත් ඔවුන් හමුවේ ඇති නඩු සහ ලිපිගොනු සියල්ලට ඇඟිලි ගැසීමටත් මේ විදේශ නියෝජිතයා කටයුතු කරනවා.
විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණ ඔබතුමාට ප්‍රතිඥාවක් දීම සාධාරණ කටයුත්තක් නොවෙයි. වැරැද්දක් කළ ඒ නිලධාරියා ඉවත් වී වෙනත් දෙපාර්තමේන්තුවකට යාම හෝ ඔහු පිළිබඳ පරීක්ෂණයක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න අපට අවස්ථාවක් දෙන්න. සමාව ගත්තේ ඔබතුමාගේ මැදිහත්වීම නිසයි.
මේ නියෝජිතයා අගවිනිසුරුතුමා, අධිකරණ ඇමැතිතුමිය සහ මහාධිකරණ විනිසුරුවරුන් මෙන්ම වෙනත් අයත් හමුවීමට නියමිතව තිබුණා. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව අපි මෙය පරීක්ෂණයකට භාජන කළ යුතුයි.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:
ක්‍ෂණිකව මැදිහත්වී මේ තත්ත්වය නිවැරැදි කිරීම ගැන කතානායකතුමන්ට ස්තුතිවන්ත වෙනවා. විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත්ව තිබූ පාර්ලිමේන්තුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු උසස් වී තිබෙනවා. රටේ අධිකරණ බලය පවරා ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒ කාර්යය නිවැරැදි කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.
විභාග වන නඩු කටයුතු ගැන මෙවැනි සාකච්ඡා පැවැත්වීම සුදුසු නැහැ. මේවා පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කළ යුතුයි. ඔවුන් හිතුවක්කාරව ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග නැවත ගැනීම වැළැක්වීම සඳහා දිගුකාලීනව සිතාබලා කටයුතු කළ යුතුයි. මෙම කරුණ දැනුම්දීම ගැන විපක්ෂනායකතුමාට ස්තුතිවන්ත වෙනවා.
වාසුදේව නානායක්කාර මහතා:-
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියකු පැමිණ තිබෙන්නේ ඔහුගේ ඉල්ලීමක් මත විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කළ නිසා නම් එම සංවිධානයටත් අපි මතක් කරන්නේ අපේ රටේ අධිකරණ නිදහස අප ආරක්ෂා කළ යුතු බවයි.
මීට පෙර අපේ විනිශ්චයකාරවරු පිරිසක් ඇමෙරිකාවේ පුහුණුවකට කැඳවාගෙන ගොස් මේ නියමිත නඩු කටයුතු හා විශේෂ අධිකරණය ගැන විමසා තිබෙනවා. ඒ එක් විනිසුරුවරයෙක් එය පටිගත කරගෙන පැමිණ තිබෙනවා. ඒ වගේම හිටපු නීතිපතිතුමාගේ අනුදැනුම නැතුව මෙවැන්නක් කෙරෙන්න බැහැ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා:-
මේ කාරණය සුළුකොට සැලකිය හැකි දෙයක් නොවෙයි. මෙය බරපතළ තත්ත්වයක්. අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යන ලෙස අපට උපදෙස් දෙන්නේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එසේ තිබියදී අපේ අධිකරණයට ඇඟිලි ගැසීම ගැන විමසිය යුතුයි.
ඒ වගේම වැඩබලන ලේකම්වරයාට මේ බලය ලැබුණේ කොහොමද? ඔහු නිකම්ම මෙවැනි සාකච්ඡාවකට කැඳවන්නේ නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර වගකිවයුත්තන් ගෙන්වා කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිකංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය:-
වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා හඬපටයක් ගැන ප්‍රකාශ කළා. අපි මීට පෙරත් ඒ ගැන පරීක්ෂණයක් කරන්න සූදානම් බව කීවා. ඒවා ලබා දුන්නොත් අපි පරීක්ෂණයකට සූදානම්.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:-
අධිකරණයට හා රටේ ස්වාධීනත්වයට කරන මෙම ඇඟිලි ගැසීම් නරක පූර්වාදර්ශයක් විය හැකි නිසා මෙවැනි දේ යළි වීම වළක්වා ගැනීම සඳහා තේරීම් කාරක සභාවක් යෝජනා කරනවා. අපට විනිසුරුවරුන්ට බලපෑම් කරන්න බැහැ. අපි මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත් විය යුතුයි.
ආනන්ද අලුත්ගමගේ මහතා:-
අපේ ආණ්ඩුව ආ දා සිට එකිනෙකාට නඩු පවරනවා මිස ජනතාව ගැන හිතුවේ නැහැ. අද නිලධාරීන් මෙලෙස කටයුතු කරන්නේ රට තුළ ආණ්ඩුවේ පාලනයක් නැති නිසයි.
එස්.බී. දිසානායක, චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

