දූෂිත නොවන මැතිවරණ ක්‍රමයක් තිබුණා නම් 1977 ට පෙර යුගයයි


(විනීතා එම් ගමගේ)
 
නව රජයේ ප්‍රමුඛතාවන් අතර 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පමණක් නොව 13 වන ව්‍යවස්ථාව හා 17 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් තිබිය යුතුම යැයි යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.
 
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදි කළ යුතු අංශ ඇතැයි ද ඒවා නිවැරදි කළ යුතුව ඇතැයි ද කී ඔහු වඩාත් ශක්තිමත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට ඇතැයි ද කියා සිටියේය.
 
දූෂිත නොවන මැතිවරණ ක්‍රමයකට යා යුතු නම් එය 1977 ට පෙර තිබු මැතිවරණ ක්‍රමය විය යුතු යැයි කී කුමාරතුංඟ මහතා 1977 දී ජනතාව ජේ ආර් ජයවර්ධන මහතාට දුන්නේ සියයට 50.92 ක ප්‍රතිශතයක් වුවත් මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට සියයට 52 ක බලයක් ලබා දී ඇතැයි ද කියා සිටියේය.
           
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස බැලුවද මෙවර සියයට 59 ක ජනවරමක් ජනතාව ලබා දී ඇති බවත් මේ මවුබිම වෙනස් කිරීම සඳහා ලබා දී ඇති බලයක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
ගෙවිඳු කුමාරතුංග මහතා මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද  (16) පැවැති යුතුකම සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිනි.
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ කුමාරතුංඟ මහතා කියා සිටියේ ඉකුත් මාස 8 දි ජනාධිපතිවරයා ගත් මග මෙවර මහ මැතිවරණයේ දී ජනතාව අනුමත කර ඇතැයි ද පැවැසීය.
 
 
විශේෂයෙන් ඔහුගේ නායකත්ව ගුණාංග නිහතමානිකම මෙන්ම රටේ සිදුවන නාස්ති නවතාලීම මෙන්ම  පාවාදීම් නැවැතීම, රාජ්‍ය ආරක්ෂාව තහවුරුකිරීම, මත්ද්‍රව්‍ය පිටුදැකීම දේශීය ආර්ථිකය නගා සිටුවීම හා 
පහළ ජනස්ථර ඔසවා තැබීමට කටයුතු කිරීම ද ජනාධිපතිවරයා පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු වීමට හේතු වී ඇතැයි කියා සිටියේය.
 
විශේෂයෙන්ම කොරෝනා වසංගතයට මුහුණදීමේ දී දැක්වූ නායකත්ව ගුණාංග හේතුවෙන් විශාල ජනප්‍රසාදයක් ඔහු ලබා ගත්තේ යැයි කී කු-මාරතුංග මහතා 19 වන සංශෝධනයේ කවර වැරදි තිබුණත් එය රටේ නීතිය බවට පත්ව තිබු සමයේ එය ඉක්මවා තම බලතල ක්‍රියාත්මක කිරීමට පවා හෙතෙම පසුබට වී යැයි ද කීය.
 
ඉදිරි  පාර්ලිමේන්තුවේ දී සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කරන්නට සියලු දෙනා කැපවී කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
 
එමෙන්ම යුතුකම සංවිධානය ලෙස පාර්ලිමේන්තුවට යන තමන් ජාතික ප්‍රතිපත්ති රකින අතර ඒකිය රාජ්‍යය රැකීම හා පෝෂණය කිරීම වගකීම සේ සළකන බව ද සඳහන් කළේය.
 
මාධ්‍ය හමුව ඇමතූ යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල් මහතා කියා සිටියේ රට අලුත් මඟකට යොමු කිරීම මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජනතා නියෝජිතයන්ගේ වගකීම වී ඇතැයි ද කියා සිටියේය.
 
  තමන් පත්කර එවූ කලුතර ජනතාවට විශ්ව විද්‍යාලයක් ලබාදීමට පොරොන්දු වූ බවත් එය මේ වනවිට යථාර්ථයක් බවට  පත්වෙමින් ඇති බවත් හෙතෙම සඳහන් කළේය. කලුතරට තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලබා දීමට ලබන අප්‍රේල් මාසයේ දී මුල්ගල් තබන බවත් වගා නොකරන කුඹුරු අක්කර 16000 ක් යළි වගා කිරීම ද අරඹන බව කීය.
 
කිතුල් නිෂ්පාදනවලට  පැවැති බාධක ඉවත්වෙමින් පවතින්නේ යැයි කී ඔහු කිතුල් වෙනුවෙන් නව අධිකාරියක් පිහටුවීමට ද පියවර ගෙන ඇතැයි පැවැසීය.
 
විශේෂයෙන් කලුතර පානීය ජලයට ලුණු මුසුවීම නවතාලීමට වහා පියවර ගත යුතු යැයි සිතන බවත් දැනටමත් ඒ සඳහා මූලික පියවර කිහිපයක් ගත් බවත් හෙතෙම කියා සිටියේය. 
 
යුතුකම සංවිධානයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙවර මැතිවරණයේ ලැබු අන්ත පරාජයේ දී එජාපය තම මතවාදය සමාජ ගත කළ නොහැකි බව තේරුම් ගෙන ඇති බවය.
1977 ගෙන ආ විවෘත ආර්ථීකය හා 1978 ව්‍යවස්ථාව අවසන් කරන්නට ජනතාව තීරණය කර ඇතැයි මහ මහ මැතිවරණයේ ප්‍රතිපලවලින් පෙනී යන බවත් දැන් ජනතාවට අවශ්‍ය වී ඇත්තේ අලුත් රටක් අලුතින් පුබුදින්නට යැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනතාව ප්‍රාර්ථනා කළ ලෝකය බිහිවෙමින් පවතින බවත් ඒ සඳහා උපරිම සහය දීම සියලු ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.