දුම්රිය හයක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් 10 දා සිට ඉවතට


( මහින්ද   නිශ්ශංක )

ලබන මාර්තු 10 දා සිට කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව හා කොටුව _ තලෙයිමන්නාරම, තලෙයිමන්නාරම  කොටුව අතර ධාවනය කෙරෙන දුම්රියවල තුන් වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.55 ට බදුල්ල බලා ධාවනය කෙරෙන පොඩි මැණිකේ සහ පෙරවරු 8.30 බදුල්ල බලා යන උඩරට මැණිකේ සහ පස්වරු 3.45 ට තලෙයිමන්නාරම දක්වා ධාවනය කෙරෙන දුම්රියවලද බදුල්ල සිට කොටුව හා තලෙයිමන්නාරම සිට කොටුව දක්වා ධාවනය කෙරෙන එම දුම්රියවලද තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කෙරෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමෙන් පසු එම මැදිරි තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කෙරෙන අතර සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩි . ඒ.සමරසිංහ මහතා පැවසීය.

මෙම දුම්රියන් සදහා තිබූ තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීම හේතුවෙන් සාමාන්‍ය හා අඩු ආදායම් ලාභී ජනතාව අපහසුතාවයට පත් වන බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කරති.