(යොහාන් භාසුර)
සියලුම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) පස්වරු 6.00 සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරු කටයුතු කරනු ලබන අතර පාර්සල් ප්‍රවාහන කටයුතු මෙන්ම කලින් ආසන වෙන් කිරීමේ කටයුතුවල දුම්රිය ස්ථානාධිපතිවරුන් නියැලෙන්න බව ද චාමර මහතා සඳහන් කළේය.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව පීඩාවකට ලක්ව සිටින මොහොතක මේ දක්වා සේවය සපයන එකම රාජ්‍ය ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය දෝෂ නිසා හා වෙනත් ආදායම් උපයාගත හැකි මාර්ගයන් හරහා ආදායම් උපයා ගැනීමට පරිපාලනයේ අදක්ෂතාවය මත දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබන බවත් කසුන් චාමර මහතා සඳහන් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය මේ මොහොතේ මගී ජනයා හරහා ලබා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන අතර ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තුව යම් මට්ටමකට ඉහළ දැමීම පිළිබඳව විරෝධයක් නොමැති බවත් දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව මගී ජනතාව යම් ප්‍රමාණවත් කාලයක් තුල දැනුවත් නොකිරීම නිසා නව ගාස්තු අය කර ගැනීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් හා මගීන් අතර ගැටළු පැන නැගීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව බවද සඳහන් කරයි.
බොහෝ දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත් තොග කඩිනමින් අවසන් වන බැවින් ඒ සඳහා විකල්ප හා විසඳුම් ලබා දිමට පාලනාධිකාරිය මේ දක්වා අසමත්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගාස්තු සංශෝධනය සියයට 60 කින් ඉහල නංවන බව ප්‍රකාශ කිරීම පැහැදිලිවම මගී ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක් බවත් කසුන් චාමර මහතා කීය.
පෙර රුපියල් 15 ක්ව පැවති ගාස්තුව නව සංශෝධනය මගින් රුපියල් 40 ක් ලෙස සියයට 125 කින් ඉහල නංවා ඇති බවත් ඇතැම් දුම්රිය ස්ථාන අතර නව ගාස්තුව සියයට 350 කින් ඉහල නැංවීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.