දුම්රිය දෛනික ආදායම මිලියන 5ට බසී



(රේඛා තරංගනී ෆොන්සේකා)
 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය මගී ප්‍රවාහන සේවය දෛනිකව ඉපැයූ රුපියල් මිලියන 18ක ආදායම මිලියන 5 දක්වා අඩුවී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු  මහතා පැවසීය.
 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය මුහුණදෙන ගැටලු පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසීමේදී ඒ මහතා එසේ පැවසීය.
 
සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය වෙත එන මගීන්ගේ අඩුවක් නොමැති බව සඳහන් කළ ඒ මහතා දුම්රිය දුර ගමන් සේවාවල මගීන්ගේ ගමනාගමනය විශාල අඩුවක් දකින්නට ලැබෙන බව පැවසීය.
 
වැඩිම ආදායමක් ඉපයු  බදුල්ල රාත්‍රි දුම්රිය, නුවර, කන්කසන්තුරේ, පොළොන්නරුව, බෙලිඅත්ත, යාපනේ යන දුම්රිය දුරගමන් සේවා මගීන්ගේ ගමනාගමනය විශාල වශයෙන් අඩුවී ඇති බවද ඇතැම් දුරගමන් සේවාවන්හි සතියේ දිනයන්හිදී මගින් 70කට පමණ සීමා වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
 
මගීන් 60ක්-70ක් ගමන් ගත්තද දුර ගමන් සේවා දිගටම පවත්වාගෙන යෑමට සිදුව ඇති බව සඳහන් කරන ඒ මහතා මගීන් නැවත දුම්රිය පොදු ප්‍රවාහනය වෙත යොමුකිරීම සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
 
මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය මැදිරි ජීවානුහරණ වැඩසටහන් දිගින් දිගටම සිදුකරන බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.අත් සේදීමට පහසුකම් සලසා ඇතත් ඇතැම් මගීන් අත් සෝදන්නේ නැති බවද ශරීර උෂ්ණත්ව පරීක්ෂාව වැනි කටයුතු පවා සිදු කරන බව ද පැවසීය.
 
උඩරට මැණිකේ, පොඩි මැණිකේ, දෙනුවර මැණිකේ, ශ්‍රි දේවී පුලතිසි සීඝ්‍රගාමී, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය යන දුම්රිය විශාල ප්‍රමාණයක මගීන්ගේ ගමනාගමනය අඩුවීම ගැටලුසහගත තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
ඉදිරියේ දී මගීන් පොදු ගමන් සේවාවක් ලෙස දුම්රිය වැඩි වශයෙන් තෝරා ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මෙම ආදායම් බිඳ වැටීම ඉදිරියේදී යථා තත්ත්වයට  පත් වෙනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.