දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්


(නිමල කොඩිතුවක්කු)

අධික වැසි සහිත  කාලගුණය හේතුවෙන් බදුල්ල, නුවර, මාතලේ සහ  කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාෂ 18 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම  නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කරයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇලත් මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, පන්විල, දොළුව සහ උඩුදුම්බරත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගමත් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල, යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අවධානම් නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව ජනතාව සඳහා සඳහා හෙට (21) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත්  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ  නිවේදනයේ දැක්වේ.