දිස්ත්‍රික්ක 17ක නියඟයෙන් ලක්ෂ 5ක් පීඩාවට


(ඩයනා උදයංගනී)

අපේක්ෂිත පරිදි නිරිතදිග මෝසම් වැසි නොලැබීම හේතුවෙන් ඇතිවූ දැඩි නියං තත්ත්වය නිසා මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 17 පවුල් 125240කට පමණ අයත් පුද්ගලයින් 474,434 ක් පීඩාවට පත්ව සිටින බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

පැසිපික් සාගර කලාපයේ එල්නිනෝ තත්ත්වයක් හට ගැනීම සහ ඉන්දියානු සාගර කලාපයේ උණුසුම ඉහළ යාම මෙලෙස නිරිත දිග මෝසම් තත්ත්වය දුර්වල වීමට හේතුවී ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.

ඇතිව තිබෙන නියං සහිත කාළගුණයෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේ මන්නාරම, යාපනය හා නැගෙනහිර පළාතේ මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි ජනතාව වන අතර ඊයේ ( 07) දිනය වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 23518 ක් , යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21094 ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 17984ක් මෙයින් පීඩාවට පත්ව සිටි බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 11566ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 10435 ක් පීඩාවට පත්ව සිටිති.

මෙම ජනතාවගේ පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට වහා පියවර වහා ගන්නැයි බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාට උපදෙස් දී ඇත.

මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් ජලය බෙදා හැරීම සඳහා ජල බවුසර් 133 ක් ට්‍රැක්ටර් රථ 364 සේවයේ යොදවා ඇති අතර ලීටර් 1000 ක ධාරිතාවයෙන් යුතු ජල ටැංකි 7000 ක් පමණ රට පුරා බෙදා හැර ඇති බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.