
(මදුශානි අබේසිංහ)
මාදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් දිඹුලාගල දිවුලපතාන ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර නිසා එම ගම්මානයේ පවුල් තුන්සිය පනහකට ආසන්න පිරිසක් කොටුවී සිටින බව මාදුරුඔය දකුණු ඉවුර ගොවින් සුරැකීමේ සංවිධානයේ සංවිධායක චන්දන කුමාර මහතා සඳහන් කරයි.
මේ වනවිට තම ගම්මානයේ ගංවතුරට කොටු වූ පවුල් කීපයක් ඔවුන්ගේ ඥාති නිවාසවලට ට්‍රැක්ටර් රථ මගින් මගින් ගමන් කරමින් සිටින අතර තවත් පිරිසක් යන එන මං නොමැතිව කොටුවී සිටින බවද චන්දන මහතා පැවසීය.
පොළොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතාගේ අප මේ පිළිබඳ කළ විමැසීමකදී සඳහන් කළේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරමින් එම පවුල් ට්‍රැක්ටර් රථ හා බෝට්ටු යොදා ගනිමින් ගංවතුරට කොටු වූ සිටින පවුල් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට පියවර ගෙන ඇති බවයි.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හයක පවුල් 113 ක පුද්ගලයන් 447 දෙනකු අවතැන් වී සිටින බවද අලහකෝන් මහතා කීවේය.
ඔවුනට අවශ්‍ය පිසූ හා වියලි ආහාර, අනෙකුත් සහන ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට පියවර ගෙන තිබෙන බවද අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමග මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය තවදුරටත් වසා ඇති බවද රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

