විනීතා එම් ගමගේ
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනා අතරින් ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මගින් අද (26) ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගොස් තිබුනේ ඔහුගේ දියණියන් තිදෙනා ගෙගන් වැඩිමහල් දියණියන් දෙදෙනා සහ බාලම පුතණුවන්ය. පොව්ල්සන් මහතා බිරිඳ හා තෙවැනි දියණිය එම ප්‍රහාරයෙන් බේරි තිබිණි.
මියගිය තිදෙනාගෙන් දියණියන් දෙදෙනාගේ සිරුරු හඳුනාගත හැකි මට්ටමේ තිබුණත් පුතුගේ සිරුර හඳුනාගත නොහැකි තරම් විනාශ වී තිබු අතර එය හඳුනාගනු ලැබුයේ ඩෙන්මාර්කයෙන් ගෙන්වා ගන්නා ලද ඔහුගේ ඩී එන් ඒ වාර්තා මළ සිරුරු හා සැසඳීමෙනි.
බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිය දී මෙම දරු තිදෙනා මෙම අනතුරට ගොදුරු විය.
තංගල්ලේ සිට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටි ඔවුන් එදින පිටවී යාමට සියලු කටයුතු සුදානම් කර තිබුණත් පොව්ල්සන් මහත්මිය සහ එක් දියණියක් නාන තටාකයේ සිට ඇත. අනෙක් දියණියන් දෙදෙනා සහ පුතු සමඟ පොව්ල්සන් මහතා හෝටලය තුළට ගොස් සිටිය දී එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් එයින් සිදුවී නැත.
සිද්ධියෙන් පසු ඔවුන් විදුලි සෝපානය වෙත ගියත් එය එම අවස්ථාව වන විට අක්‍රියව පැවැති හෙයින් ආපසු හැරි ඇතත් ඔවුන් එහි නවතා පොව්ල්සන් මහතා බිරිඳ හා අනෙක් දරුවා සෙවීමට ගොස් තිබේ. මේ අතර දෙවැනි බෝම්බය පුපුරා යාමෙන් එම දරුවන් තිදෙනා අනතුරට පත්ව ඇතැයි හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මළසිරුරු නිදහස් කිරීම ප්‍රමාද වී ඇත්තේ දරු තිදෙනා අතරින් පවුලේ බාලයා වන පුතුගේ සිරුරු හඳුනාගැනීම තහවුරු කරගැනීමේ කටයුතු හේතුවෙනි. එම මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම මළ සිරුරු ඩෙන්මාර්කයට ගෙනයාමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහාම කටුනායක ගුවන් තොටුපල වෙත අද (26) පැමිණි විශේෂ ගුවන් යානයකින් එම සිරුරු ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.

