
(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
අනුරාධපුර මහබෙල්ලන්කඩවල ගම්මානයේ වැසියන් අලින්ගෙන් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා වහළ උඩ සැකසු පුංචි පැල්වල රැය පහන් කරති.
මහා බෙල්ලන්කඩවල ගම හතර වටින්ම මහා රෑස්ස කැලයක් මැද පිහිටි ගමක් වන අතර එම ගමේ පවුල් අටක් දුකසේ ජීවත් වෙති.
නිරන්තරයෙන් වලි අලි තර්ජනය ලක් වූ ගම්මානයක් වන අතර නිවාස කඩා බිම දමමින් ඔවුන්ගේ කුලියක් මලියක් කර සොයාගත් දෑ කා දමන බවද ගම්මාසීහු චෝදනා කරති.
රාත්‍රී කාලයේ දි තම දරු පැටියන් ආරක්ෂා කර ගැනීම සඳහා අපූරැ උපක්‍රමයක් සොයාගෙන ඇත.
එනම් තම නිවෙස තුළ කුස්සියේ ඇති පෝරනය යටින් ඉණිමඟක් තබා ඒ තුළට දරු පැටව් සමග ඉතා අසීරුවෙන් ගොඩවී එම පෝරනය උඩ ඔවුහු ඉදි කර ඇති මැස්සක් තුළ දරු පැටව් සමග රාත්‍රිය පහන් කරති.
පණ නල රැක ගැනීමට ගිනි ගහන අව්ව සහ ධාරානිපාත වැස්ස මායිම් නොකර මහපොළොව සමඟ පොරබදන ඔවුන් රාත්‍රියේ තම අඹු අඹුදරුවන් රැක ගැනීමට දරන වෙහෙස දෑසින් දුටු කෙනකුගේ නෙතට කඳුළක් උපදින බව නම් නොරහසකි.
මෙම නිවසට ඉකුත් 27 වැනි දා රාත්‍රියේ කඩා වැදුණු වන අලින් දෙදෙනෙකු විසින් මෙම නිවසේ බිත්ති තුනක් තුන් පැත්තකින් පෙරළා විනාශ කර තිබිණ.
වෙසක් පුන් පොහෝ දින රාත්‍රියේ ද මෙම කුඩා ගම්මානයට ආ වල් අලින් නිවසක එක බිත්ති පෙරළා දැමූ බව නිවැසියෝ පැවසූහ.
එයින් නොනැවතුණු වල් අලියා නැවත ඉක්ත් 8 වැනි දා පාන්දර 2ට පමණ ගෙවත්තට පැමිණ මෙලෙස තම යළි නිවස කඩා දැමූ බව හැඬූ කඳුළු යුතුව කාන්තාවක අපහා පැවැසුවාය.
අප එහි යන විටත්, ප්‍රදේශය බාර ග්‍රාමනිලධාරිවරයා පැමිණ සිටියේ නැත. මෙම සිදුවීම එදින පාන්දර ම දුරකථනයෙන් දැනුම් දුන් බව ද නිවැසියන් පැවසූහ.
මැදවච්චිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට මේ සිද්ධිය දැනුම්දීමට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත්තත් එම දුරකථන විසන්ධි වී තිබුණි.
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් වජිර රත්නායක මහතාට මේ සිද්ධිය දුරකථනයෙන් දැනුම් දුන් විට ඔහු සඳහන් කළේ කඩිනමින් ග්‍රාම නිලධාරිවරයා එම ස්ථානයට එවන බවත් ඉදිරි කටයුතු සිදු කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවත්ය.
පාසල් යන දුවා දරුවන් සහ කිරි සප්පයන් ආරක්ෂා කරගන්නට මාරයා සමග සටන් වදින මහ බෙල්ලන්කඩවල අහිංසක ගම්වැසියන්ට හෙට දිනයේ අත් වන ඉරණම කුමක්දැයි අවිනිශ්චිතය.




