
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නරියෙකු විසින් නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මක වී එය වළක්වා තිබේ. නරියා විසින් දැරියගේ කකුල සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහටල ඇතුලත් කර ඇත.
වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පලායමින් සිටි නරියා කොටුකර පහර දී මරා දමා ඇත.
තුවාල ලද දැරිය සිය සොහොයුරා සහ සොහොයුරිය සමඟ නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මව මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිට ඇතැයි ද, මේ දිනවල එම ප්‍රදේශයේ නරියන් ගැවසීම හේතුවෙන් නිවසේ දොර වසා ගෙන සිටින ලෙස බිරිඳට පවසා තිබූ බව ද දැරියගේ පියා කීවේය.
අදාළ අවස්ථාවේදී දොර වසා නොතිබී ඇති අතර නරියා නිවස දෙසට එනු දුටු වසර 5 ක් වයසැති වැඩිමල් දරුවා මුළුතැන්ගෙට දිව ගොස් ''අම්මේ නරියෙක් වගේ එකෙක් ගෙවල් පැත්තට එනවා'' මවට පැවසීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ එම මව නිවසේ සාලය වෙත දිවවිත් එහි සිටි දැරිය වඩා ගැනීමට සැරසීමත් සමගම නරියා එකවරම උඩ පැන දැරියගේ දකුණු කකුල සපා කා තිබු බව ද ඔහු පැවසීය. ඒ සමගම මව දරුවත් වඩාගෙන මහ හයියෙන් කෑ ගසමින් දිව යාමත් සමඟම නරියා කාමරයක සිට නිවෙසින් පිටතට පැන පලා ගොස් තිබිණි.
සිද්ධිය සැලවීමත් සමගම නිවස වෙත යතුරු පැදියෙන් පැමිණෙමින් සිටි දැරියගේ පියා වන චන්ද්‍රසිරි මහතා වෙත ද පලායමින් සිටි නරියා කැලෑවක එකවරම පැන ඇති අතර ඔහු එයින් බේරී නිවස වෙත පැමිණි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. දරුවා සපා කා පළා යමින් සිටි නරියා සොයා පහර දී මරා දමා රෝහල වෙත රැගෙන ගොස් එහි පැමිණි වනජීවී නිලධාරීන් වෙත භාර දී තිබිණි.
හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
'' නරියා සපා කෑමෙන් තුවාල වූ දැරියට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර එන්නත් පවා ලබා දුන්නා. වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටු අංක 14 වෙත යොමු කර තිබෙනවා'' යැයිද කීවාය.

