
(උපාලි ආනන්ද)
පැවිදිවීම සඳහා විහාරස්ථානයට ආ 14 හැවිරිදි ආ දරුවකුට පැමිණි පළමු දිනයේම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියකට වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබද අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා හිමිනමට බරපතල වැඩ සහිතව වසර 30 ක සිර දඩුවමක් අද නියම කළේය.
මෙසේ බරපතල සිරදඩුවම් නියම වුයේ තඹුත්තේගම හුරිගස්වැව තලාකොල වැව විහාරයට විහාරාධිපති මුල්ලේරියාවේ විමලතිස්ස නැමැති 65 හැවිරිදි හිමිනමකටය.
ඊට අමතරව වින්දිත බාල වයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර හිමි නමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හැරිය හොත් විත්තිකාර හිමිනමට තවත් මාස 6 ක සිර දඩුවමක් ද නියම කෙරිණ.
විත්තිකාර විහාරාධිපතිට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා 3 ක් ලබා සිටි විහාරාධිපති හිමිනමක එකී අධි චෝදනා 3 ටම වැරදි කරුබවට අධිකරණය තීන්දු කළේය.
සිරදඬුවමට අමතරව විත්තිකාර හිමිනමට පළමු චෝදනාවට රුපියල් 5000 ක්ද, දෙවන සහ තුන්වන චෝදනා වලට රුපියල් 15000 බැගින්ද දඩ ගෙවන ලෙසට නියෝග කළ විශේෂ මහාධිකරණයේ විනිසුරු සදුන් විතාන මහතා නියම කළ එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් චෝදනා 3 ට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිර දඩුවම් විත්තිකාර හිමිනමට නියම කළේය.
තම සේවාදායක විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරංග මොහොට්ටි මහතා දැක්වු කරුණු සැලකිල්ලට ගත් විශේෂ මහාධිකරණ විනිසුරු සදුන් විතාන මහතා විත්තිකරුට නියම කළ බරපතල වැඩ සහිත 30 වසරක සිර දඩුවම දස වසරකින් එක් වර ගෙවී යා යුතු බවටද නියම කරනු ලැබීය.

