දයාසිරිගේ හැසිරීම හොයන්න කමිටුවක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු සභාගර්භයේදී ඉකුත් මැයි මස 20 වැනිදා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.

නියෝජ්‍ය කාරක සභා සභාපතිනි  හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක  යන මහත්වරු කටයුතු කරති.

මෙම කමිටුව පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවටද  ඊයේ දැනුම් දුන්නේය.

දයාසිරි ජයසේකර මහතා  පසුගිය විස්ස වැනිදා සභාගර්භයේදී  රීති ප්‍රශ්න මතු කරමින් දිගින් දිගටම කරුණු දැක්වීම සහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍යා  ආරියරත්න මහත්මියට දොස් නැගීම සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක මහතා ජයසේකර මහතාට ඒ අවස්ථාවේදී දොස් පැවරීය.

අලුත් මන්ත්‍රීවරුන් හෑල්ලුවට ලක් කරන්න එපා යයිද බිමල් රත්නායක මහතා එහිදී පැවසිය.