දමිළ සංවිධාන හයක තහනම ඉවත් කළ හේතුව


(ඩයනා උදයංගනී)

දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ විධි විධානවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය මගින් ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී නොවන සංවිධාන ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීම හා ඉවත් කිරීම සිදුකරන බවත්, ඒ අනුව පසුගිය කාලය තුළ තහනම් කර තිබුණු ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කිරීමට දතීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අඛණ්ඩ අධ්‍යයන සිදුකර එහිදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව මෙම සංවිධානවල තහනම ඉවත් කර ඇති බවත්, අන්තර්ජාතික හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට ගරු කිරීමක් ලෙස සිදුකර ඇති බවත් ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධිකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය හා බි්‍රතාන්‍ය දෙමළ සංසදය යන සංවිධානවල තහනම එලෙස ඉවත් කිරීම මෙන්ම සංවිධාන තුනත් අලුතින් අසාධුලේඛනගත කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

ධාරූල් අධර් කුරාන් මද්‍රසා, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමට හා සේව් ද පර්ල් යන සංවිධාන මෙලෙස අලුතින් අසාධුලේඛනගත කර ඇත.