දත්ත මැකුවාට විධායක නිලධාරි අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින් කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් විසිනි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e NIMRA දත්ත පද්ධතිය සකස් කිරීමේ ගිවිසුම්ගත ආයතනය ලෙස එපික් ලංකා ටෙක්නොලොජි ආයතනය ගිවිසුම් ගත වී ඇත්තේ ඉකුත් 2018 මැයි මස 3 වැනිදා බවත්, මෙම ගිවිසුමේ වලංගු කාලසීමාව වන්නේ දින සිට වසර පහක කාලයක් ඉදිරියට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

ඒ අනුව දත්ත පද්ධතියේ තොරතුරු මැකී යාම සම්බන්ධයෙන් මෙම සැකකරු ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා පැවසීය.

සැකකරු අත (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e NIMRA දත්ත පද්ධතියේ ව්‍යාපෘති කළමනාකරු වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ද මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e NIMRA දත්ත ගබඩාවේ ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇතැයි සඳහන් කරමින් එහි සභාපතිවරයා විසින් ඉකුත් 12 වැනිදා කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය .

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ත නිෂ්පාදන, විලවුන් නිෂ්පාදන, ඔසුසල් සහ ඖෂධ ප්‍රවාහනය සහ බෙදා හැරීම සඳහා ලියාපදිංචි කිරීම බලපත් නිකුත් කිරීම ඇතුළු කරුණු නියාමනය කරන ආයතනය බව ද පැමිණිල්ලෙන් සඳහන් කර ඇතැයි එම නිලධාරියා පැවැසීය.