(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දඩිබිඩි තාලයෙන් කලබලයකින් පාර්ලිමේන්තුවට අණ පනත් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය සහ සත්භාවය ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනවාර්ගික ගැටලුවෙන් පීඩා විඳින්නේ පොදු ජනතාව බැවින් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන පනත ගෙන ඒමට පෙර පීඩා විඳින ජනකොටස් සමඟ අදහස් හුවමාරු කර ගත යුතු බව මන්ත්‍රීවරයා කීය.
එවැන්නක් සිදු නොකර ඉහලින් පහලට නීතිරීති පැනවීමට උත්සාහ ගැනීමෙන් ඉතිහාසයේ වැරදි නිවැරදි නොවන බවද බාකිර් මාකර් මහතා සඳහන් කළේය.
අරගලය පටු දේශපාලන අරමුණු සඳහා තමන්ගේ නමට ඩැහැ ගැනීමට අතලොස්සක් දෙනා අන්තවාදී ක්‍රියාවල යෙදුනද එම ස්වභාවික ජනතා නැගිටීමෙන් ජනතාව දුන් පණිවිඩය ඉතා වැදගත් බව බාකීර් මාකර් මහතා කීය.
මෙවන් පසුබිමක මෙම පනත ඉදිරිපත් කිරීම සද් භාවයෙන් සිදුවන්නක් නම් එය රටේ අනාගතය සඳහා වන යහපත් හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් තිබූ පමණින් රටේ අල්ලස,දූෂණය තුරන්වීම හෝ,අවම වීම සිදුනොවී ඇත්තාක් මෙන් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය පිහිටුවීමෙන් පමණක් රටේ සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ප්‍රාතිහාර්ය පෑමක් සිදුවේයැයි අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැති බවද බාකීර් මාකර් මහතා සඳහන් කළේය.

