දකුණේ විදුලිය ගැන ජනපති කාර්යාලයට රහස්‍ය වාර්තාවක්


(අංජුල මහික වීරරත්න)

දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ අර්බුදය පිටුපස ලෝක බැංකුව සමඟ සබඳතා පවත්වන කාන්තාවක සිටින බව ජනාධිපති කාර්යාලයට බාර දුන් රහස්‍ය වාර්තාවක සඳහන් වී තිබේ.

දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට ප්‍රමාද මන්දැයි සොයන ලෙස ජනාධිපතිවරයාගේ නියෝග පරිදි කළ විමර්ශනයේ දී අදාළ තොරතුර ලැබී තිබේ.

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලි බලය ලබා දීමට නොහැකි වීමේ අර්බුදයක් පැන නැගී ඇත.

දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.

ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් නිසා බව හෙලි වී තිබේ.

එම වත්තේ හිමිකරු විසින් අදාල ඉඩම උඩින් විදුලි රැහැන් ඇදීමට විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් නිසා මෙම ගැටලුව පැන නැගී ඇත. එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත ප්‍රමාද වී තිබේ.

එම නිසා ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාල කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.

දකුණු පළාත ප්‍රමුඛ දිස්ත්‍රික්ක පහකට විදුලිය සපයනු ලබන්නේ සමනළ වැව ජලාශයෙන් උත්පානය කරන ජල විදුලියෙනි.

යම් හෙයකින් සමනළ වැව සිදී ගියහොත් පැය ගණනාවක් දකුණු පළාතට විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩල නිලධාරීන් රජයට දැනුම් දී ඇත.