දකුණු පළාතෙන් පැය 24ට ආසාදිතයන් 609


සිරංගිකා ලොකුකරවිට

දකුණු පළාතෙන්, අද උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්  609ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒය ලංකාවේ කොරෝන වසංගතය ආරම්භ වූ දින පටන් මේ දක්වා පැය 24ක් ඇතුළත දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ එම ආසාදිතයන් අතරින් 572ක් ම සාමාන්‍ය ජන සමාජයෙන් වාර්තා වී ඇති බවයි. අනෙක් 33 දෙනා රෝහල්වලින් වාර්තා වී ඇත.

ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව ‍288කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 168 දෙනකු වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 116ක් වාර්තා වී ඇති බව මහගමගේ මහතා සඳහන් කළේය.

මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27,853කි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 15,271ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 8,989ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3,593ක් වාර්තා වී ඇත.