තේ පෝර අඩු කරන ගිවිසුම හෙට අත්සන් කරයි


(අංජුල මහික වීරරත්න)

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා සහන මිලට තේ පොහොර ලබාදීම සඳහා වන ගිවිසුමට හෙට අත්සන් කරනු ලබයි.

තේ මණ්ඩලය ,කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය  සමඟ ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මේ සඳහා ගිවිසුම් ගත වීමට නියමිත අතර ගිවිසුම අත්සන් කිරීම බත්තරමුල්ල කෘෂිකර්ම හා වැවිලි  කර්මාන්ත අමාත්‍යාංශයේදී හෙට (29)සිදු කෙරෙයි.

තේ වගාව සඳහා යොදන ටී -750, ටී- 709 සහ ටී- 200 යන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000 කින් අඩු කිරීමට කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය.

දැනට වෙළෙඳ පොලේ පවතින මිලට වඩා සියයට 50කින් පොහොර මිල අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

මේ අනුව ටී-750 සහ ටී - 709 පොහොර මිටියක මිල රුපියල්  7735 දක්වාත් T-200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත  අමාත්‍ය මහින්ද අමරවීර මහතා  රජයට අයත් පොහොර සමාගම්  දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.