තිස්ස නිදහස් කරන්නැයි උසාවියෙන් ඉල්ලීමක්


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කිදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් පස්වැනි වතාවටත් අධිකරණයට නොපැමිණීම නිසා අත්තනායක මහතා නිදහස් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගෙන් අද (22) ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ යන  මහත්වරු අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට අත්තනායක මහතා චෝදනා ලැබ සිටී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවක පෙනී සිටින බව කියමින් රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන පෙබරවාරී මස 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරුවන් වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සාක්කීදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පස්වැනි වතාවටත් සිතාසි නිකුත් කර තිබුණත් ඔවුන් දෙදෙනා අධිකරණයට පැමිණ සිටියේ නැත.

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.

විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් නීතීඥ නිරෝෂන් සිරිවර්ධන සහ නීතීඥ චමින්ද අතුකෝරල මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.