ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා කීර්තියක් අත්කර දෙමින්, නොබෙල් ත්‍යාගලාභීන් පවා සහභාගි වූ අතිශය වැදගත් මූල්‍ය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමේ භාග්‍යය හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට හිමිවී ඇති අතර තවත් එවැනිම ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමට ද ඔහුට ඇරයුම් ලැබී තිබේ.
තිලංග සුමතිපාල මහතා ඇමැතූ චීනයේ ‘ෆයිනෑන්සල් ස්ට්‍රීම් ෆෝරම්’ (Financial street forum): හි වාර්ෂික සමුළුවේ තේමාව වූයේ ‘ආර්ථික පුනර්ජීවනය සහ මූල්‍ය මෙහෙවර’ යන්නය. තෙදින සමුළුවක් වූ එය ඔක්තෝබර් 20දා සිට 22 දින දක්වා බෙයිජිං නුවර දී පැවැත් වේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ පවතින පුළුල් ආර්ථික හා මූල්‍ය සබඳතා සන්දර්භය තූළ මෙම සමුළුව ඇමැතීමට ශ්‍රී ලාංකිකයකුට අවස්ථාවක් ලැබීම සුවිශේෂී වැදගත්කමක් ගනී.
චීනයේ මූල්‍ය ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රතිපත්ති නිවේදනය කිරීමේ මෙන්ම මූල්‍ය ව්‍යාපාරයේ අන්තර්ජාතික හුවමාරු පහසුකම් සැලසීමේ හා සහයෝගිතාවේ නිල වේදිකාව වන්නේ ද ‘ෆයිනෑන්ෂල් ස්ටීට් ෆෝරම්’ය. එය එරට තුළ මෙන්ම විදේශීය මූල්‍ය අංශවල ද මහත් ගෞරවයට පාත්‍ර වූවකි.
සමුළුව එහි පූර්ණ සැසිවාරයට සමගාමීව ‘ප්‍රතිපත්ති සංවර්ධනය (සංවර්ධනය යළි ලබා ගැනීම) හා මූල්‍ය වගකීම’, ‘මූල්‍ය සේවා හා සමායෝජිත සංවර්ධනය’, ‘ද්වි මාර්ගික වාසිදායක සමාරම්භය හා මූල්‍ය සහයෝගිතාව’ සහ ‘මූල්‍ය තාක්ෂණය හා නිර්මාණාත්මක සංවර්ධනය’ යනුවෙන් නම් කළ තවත් සංසද හතරකින් ද සමන්විත විය.
තිලංග සුමතිපාල මහතා මෙහිදී “තීරුව හා මාවත ඇරැඹුම’’ ආර්ථික පුනර්ජීවනය හා හරිත සංවර්ධනය” යන මැයෙන් සිය දේශනය පැවැත්වූ අතර පූර්ණ සමුළුවට ද, ‘ද්වි මාර්ගික වාසිදායක සමාරම්භය හා මූල්‍ය සහයෝගිතාව’ යන සමගාමී සංසදයේ විද්වත් සාකච්ඡාවට ද සහභාගි විය.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්, ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යා විශේෂඥයන්, විදේශ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ තවත් විද්වතුන් සහභාගි වූ මෙම සමුළුව අමතා චීනයේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යිංමිං යැං, මූල්‍ය සංවර්ධනය සඳහා වන බහු පාර්ශ්වීය සහයෝගිතා කේන්ද්‍රයේ මූල්‍ය පහසුකම් සැලසීමේ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරි ෂොන්ජිං වැං, කොරියාවේ ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ සභාපති ආචාර්ය අයි. අයි. හොංග් ලී, කීර්තිමත් ඉන්දීය ආර්ථික විශේෂඥයකු වන එසේම පහළොස්වැනි මුදල් කොමිසමේ (2017-2020) සාමාජිකයකු වූද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ බටහිර අර්ධ ගෝලීය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හා කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයෙහි විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කළ අනූප් සිං යන මහත්වරු ද සමුළුව ඇමැතූහ.
සංස්කෘතික උරුමයන් සහ ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය අවබෝධය උදෙසා තිලංග සුමතිපාල මහතා දක්වන සහායට කෘතඥතාව පළකරමින් ලබන 29 වැනි දින චීනයේ පීකිං විශ්වවිද්‍යාලයේ විදේශ හුවමාරු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව ඇමැතීමට ඔහුට ආරාධනා කොට ඇත්තේ ජාත්‍යන්තර කොන්ෆියුෂන් සංගමය (ICA) විසිනි.
“ආසියානු ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම: ආසියාවේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.
සමුළුවෙහි අරමුණ වන්නේ ආසියානු ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය හැදෑරීම හා ඉගෙනීම සඳහා රාජ්‍ය නොවන ශාස්ත්‍රීය හා සංස්කෘතික හුවමාරු වේදිකාවක් ගොඩනැංවීමය. එමඟින් සුසංගත ප්‍රගමනයක් හා සහයෝගිතාවක් ආසියානු රටවල් අතර ඇති කිරීමය.
සිතුම් පැතුම්වල එම අන්‍යොන්‍ය අවබෝධය තුළින් විෂමතා සමනය කිරීම ද, ආසියානු ශිෂ්ටාචාර අතර පොදු එකඟතාවන් හා සංවර්ධනය හුවමාරු කර ගැනීම ද සමුළුවේ අපේක්ෂාවයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවට ද, පොදුවේ සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික සහ වෙනත් ක්ෂේත්‍රවල අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් ආසියානු ශිෂ්ටාචාරවලට සුවිශේෂ දායකත්වයක්ද තිලංග පිරිනමා ඇතැයි අදාළ දේශනය සඳහා ඇරයුම් කරමින් සමුළු සංවිධායකයන් සඳහන් කර ඇත.
‘කොන්ෆියුසස් ධර්මය සහ පොදු එකඟතාවන්හි වටිනාකම්’, සංස්කෘතික හුවමාරු හා අන්‍යොන්‍ය ඉගැනීම් සහ ‘ආසියාවේ අනාගතය සහ යෞවනයෝ’ යන මාතෘකා යටතේ සමුළුවේදී විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිවාර තුනක් ද පැවැත්වෙයි.


