තාජුඩීන් ඝාතන නඩුව විමසීම කල් යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නොමැතිව ඔහුට එරෙහි නඩුව විමසීම සඳහා ලබන මාර්තු 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(16) නියම කළේය.
 
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට පැමිණීමට නොහැකි තරම් රෝගී තත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා දෙපාර්ශවයේ සාක්කි ලැයිස්තු ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණි.
 
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
 
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතල රෝගී තත්වයෙන් ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කරන ලදී.
 
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 02 වැනිදා යළි කැදවීමට නියම කළේය.