ත්‍රි‘මලේ අන්තවාදි සංවිධානයකට එතෙරින් කෝටි 100ක්


(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය) 
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අන්තවාදී මුස්ලිම් සංවිධානයක  ගිණුමකට වසර 4 ක  කාලයක් රුපියල් කෝටි 100 කට ආසන්න මුදලක් බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත. 
රුපියල් කෝටි 100කට අධික මුදලක් තිබු එම සංවිධානයේ ගිණුම අධිකරණය  අත්හිටුවනු ලැබ ඇති අතර ඒ වනවිට එම ගිණුමේ ඉතිරිව තිබී ඇත්තේ රුපියල් 1,25,000 ක පමණ මුදලක් පමණක් බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
ගිණුමට බැරකර තිබු රුපියල් කෝටි ගණනක මුදල් ඔවුන් වරින් වර ඉවත් කරගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
2013 වසරේ  සුබසාධන ස්වේච්ඡා සංවිධානයක් වශයෙන්  මෙම  සංවිධානය රජයේ ලියාපදිංචිකර ඇති බවත්, එම සංවිධානය ගිණුමට 2017වන විට කෝටි 100ක පමණ මුදලක් වරින් වර බැර වී තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 
ගිණුමට ලක්ෂ ගණනින් බැරවන මුදල් පසුදිනම ගිණුමෙන් ඉවත් කරගන්නා බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.  
ඩුබායි රටේ සැඟවී සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන පානදුරේ “රහීම්” නමැත්තා ද රුපියල් කෝටි ගණනක මුදල් මෙම ගිණුමට බැරකර  ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම රහීම් නමැත්තා ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන අතර ඔහුගේ ගෝලයෝ දෙදෙනෙක් ද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 2020 වසරේ අගෝස්තු මාසයේ දී පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ