තහනම් කසළ ප්ලාස්ටික් ටොන් ගානකට හොර පාරෙන් අවසර දීලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කසළ  ප්ලාස්ටික් ආනයනය තහනම් කර තිබියදී මධ්‍යම  පරිසර අධිකාරිය  ආයතන කිහිපයකට පසුගිය වසර තුනකදී කසළ  ටොන් එක් ලක්ෂ  අනූ අට දහසක්  ගෙන ඒමට  බලපත්‍රදී  ඇතැයි   පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව  එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අනුව 2019 වර්ෂයේදී කසළ  ප්ලාස්ටික්  ටොන් 12,000ක්ද 2020 වසරේදී  කසළ  ප්ලාස්ටික්  ටොන් 6000ක්ද 2021 වසරේදී කසළ  ප්ලාස්ටික්  180,000ක්ද  ගෙන්වීමට අවසරදී ඇති බව  ඔහු සඳහන් කළේය.

මේ අතර මධ්‍යම  පරිසර අධිකාරිය  2022 වසරේදී කසළ  ප්ලාස්ටික් ටොන්  22779ක් ආනයනයට අනුමැතිය  ලබාදී තිබුණද ආනයන අපනයන පාලන  දෙපාර්තමේන්තුවෙන් ආනයනයට බලපත්‍ර ලබාගෙන ඇත්තේ  ප්ලාස්ටික් ටොන් 5176ක් වෙනුවෙන් පමණක් බවත් මේ වර්ෂය සඳහා කසළ  ප්ලාස්ටික් ටොන් 7279 ක් ආනයනයට මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතියදී තිබුණද ආනයන අපනයන පාලක  දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගෙන ඇත්තේ ටොන් 2884ක්  ආනයනයට පමණක් බවත්   කාරක සභාවේදී  තොරතුරු හෙළිවිය.

ශ්‍රී ලංකාවට වසරකට රුපියල් කෝටි 1910 ක් වැයකරමින් ප්ලාස්ටික් ටොන් 4.8 ක් ආනයනය කරන බවත් මෙලෙස ආනයනය කෙරෙන ප්ලාස්ටික් අවුරුදු 700 ක් යනතුරුද නොදිරන බවත් කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවිය.

පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්විය.
මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

සෑම වර්ගයකම ප්ලාස්ටික් වසරකට මෙරටට  මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක පමණ ප්‍රමාණයක් ගෙන එන බවද  කාරක සභාවේ දී  තොරතුරු හෙළිවිය.

නමුත් මින්    ප්ලාස්ටික් ටොන් 50000ක් වත් ප්‍රතිචක්‍රිකරණය සදහා එකතු  නොවීම බරපතළ ගැටලුවක් බව  කාරක සභා සභාපතිවරයා කීවේය.

මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාවයට වඩා කිහිප ගුණයකට වැඩි  කසළ  ප්ලාස්ටික් ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට අවසර දීම සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය  පළවිය.