තහනම නොතකා යාපන සිසුහු මහවිරු සමරති


(රොමේෂ් මධුෂංඛ)

යුද සමයේ දී මිය ගිය මහවිරුවන් සිහිපත් කර යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු සැමරීමක් සිදු නොකරන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසළකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) මහවිරු සැමරීමක් සිදුකර තිබේ.

යාපනය විශ්ව විද්‍යාල භූමියේ පිහිටි යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකය ඉදිරිපිටදී මෙම මහවිරු සැමරුම් සිදුකර ඇති අතර ඒ සඳහා විශ්ව විද්‍යාලයේ සිසුන් 50 දෙදෙනෙකු සහභාගී වී මහවිරුවනට පුෂ්පෝපහාර දක්වා ඇත.

කෙසේ වෙතත් ඊයේ දින යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය  විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ 26, 27 හා 28 දිනයන්හි විශ්ව විද්‍යාල භූමිය තුළ මහවිරුවන් සැමරීමට කිසිදු සිසුවකුට ඇතුළු විය නොහැකි බවටත් එසේ ඇතුළු වී සැමරුම් සිදු කරන සිසුන් හට විනයානුකූල පරික්ෂණයක් සිදුකරන බවයි.

කෙසේ වෙතත් අද දින එම තහනම නොසළකා හරිමින් සිසුන් පිරිසක් සරසවියේ ස්මාරකය ඉදිරිපිට මෙසේ මහවිරු සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙලෙසින් යපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට මහවිරු සැමරුමක් තහනම් කරනු ලැබුවේ පළමු වතාව වීමද විශේෂත්වයකි.

පසුගිය මහවිරු සැමරුම් දිනයන්හි යාපනය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කාර්යාල තුළ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ පෝස්ටර් තිබී සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ද පත්විය.