තවත් ලාංකිකයෝ 16කට ජපන් රැකියා දොර


(අංජුල මහික වීරරත්න)

තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ  16 දෙනෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී ගුවන් ටිකට්පත්  ලැබූහ.

එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියෝ 4 දෙනෙක්, නිෂ්පාදන රැකියා සඳහා 4 දෙනෙක් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණියෝ 8 දෙනෙක් සිටිති.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් වශයෙන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 589 ක පිරිසක්  ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

ජපානයට යාමට සූදානමින් තවත් 100කට අධික පිරිසක් පෙර විගමණික පුහුණුව ලබමින් සිටින බවද කාර්යාංශය පවසයි.

ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ,  අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස් යාපා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (බඳවාගැනීම්) සුසිල් කුමාරපේලි මහත්වරු  සහ IM Japan ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.