තවත් පිපිරීමක්: සභාව දැනුවත් කරන්න


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාති ආගම් ඝට්ටනයක් හරහා සිදුවන  තවත් පිපිරීමක් ගැන සඳහන්  විදේශ බුද්ධි අංශ වාර්තාවක් සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර ඇති හෙයින්  ඒ ගැන වහා තොරතුරු සොයා බලා මේ සභාව දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසරය ඇතුව ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර බුද්ධි අංශ නිකුත් කර ඇති  වාර්තාවක් ගැන දෙස් විදෙස් මාධ්‍යවල තොරතුරු සඳහන් වෙලා තියෙනවා. මේ රටේ විවිධ ජාති ආගම් අතර ඝට්ටනයක් ඇති වෙලා තවත් පිපිරීම් තත්ත්වයක් ගැන මේ වාර්තාවේ සඳහන් වන බව ප්‍රකාශ කරනවා.

මේක ඉතා භයානක කාරණයක්.ඒ වගේම  ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක්. වහාම දේශපාලන පක්ෂ  කැඳවලා මෙය ඇත්තක්ද බොරුවක්ද කියලා හොයන්න ඕන.පාස්කු ප්‍රහාරය සමග  ඇති වූ ආරක්ෂක ව්‍යාකූලත්වය අපි දැක්කා. මේ සංවේදී කාරණය ගැන රජය අවධානය යොමු කරන්න ඕන. ඊට පස්සේ මේ සභාව දැනුවත් කිරිමට කටයුතු කළ යුතුයි