කොළඹදීය (රොයිටර්ස්)
පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කරන ලද කණ්ඩායම ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය අද (30) ප්‍රකාශ කළාය.
ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ මාසය ලෙස සැලකෙන රාමදාන් මාසය ලබන සඳුඳා (6) ආරම්භ වීමට නියමිත අතර එය ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ කණ්ඩායම තවත් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇතැයි මෙරට ආරක්ෂක අංශ ද අනතුරු අඟවා ඇත.
“බෝම්බ ප්‍රහාර සැලසුම් කළ පිරිස් සහ ඒවාට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් මේ කතාව ඉවර නැහැ” යැයි මෙරට ඇමෙරිකානු තානාපතිවරිය රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කීවාය.
“තවමත් සක්‍රීයව සැලසුම් සිදුවන බව අපි විශ්වාස කරනවා. ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්” යැයි ද ඇය පැවැසුවාය.

“මේ ප්‍රහාර පිටුපස සිටින සක්‍රීය කණ්ඩායම තවමත් සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා තවත් ප්‍රහාර එල්ල වේවි කියලා හිතන්න අපට හේතු තිබෙනවා” යැයි ද ඇය කීවාය.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතන ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන අතර එම ආයතනයේ කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
මේ අතර ආරක්ෂක අංශ සහ පොලිසිය තවමත් සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බැවින් දින කිහිපයක් යනතුරු ආරක්ෂාව උපරිම මට්ටමින් පවත්වා ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් බුද්ධි අංශ නිලධාරියෙක් පැවැසීය.
055
ඡායාරූප - (රොයිටර්ස්)

