(යොහාන් භාසුර)
ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 8 ක් අද (04) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
හක්මන කොහුලියද්ද, මොනරාගල පට්ටියලන්ද සහ වව්නියාව වෛරවපුලියන්කුලම යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකින් එම සිද්ධීන් වාර්තා වී ඇතැයි පොලිසිය කීය.
හක්මන කොහුලියද්ද ප්‍රදේශයේ නිවස අද (4) අළුයම 5.30 ට පමණ ගෑස් ලිපේ ගිනිදල්වා ආහාර පිසමින් සිටියදී ලිප පුපුරා ඇති බවත් ගෑස් සිලින්ඩරය පරීක්‍ෂා කිරීමේදී එහි කාන්දුවක් තිබූ බව නිවැසියන් පැවසූ බව පොලිසිය පැවසීය.
මොනරාගල පොලිස් වසමේ පට්ටියලන්ද ප්‍රදේශයේ සහ වව්නියාව වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ නිවාසවල ඊයේ (3) ගෑස් ලිප් පුපුරා ගොස් ඇති බව පොලිසිය කීය.

