තරුණියක් ඝාතනය කළ අයියා - මලෝ දෙදෙනා පෝරකයට


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

කුරුණෑගල යකල්ල ප්‍රදේශයේදී 2005 වසරේ දී නිදි පෙති බොන්නට දී ගෙල සිරකර තරුණියක් ඝාතනය කළැයි වරදකරුවන් වූ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (9) මරණීය දණ්ඩනය නියම කළාය. 

වැල්ලව මරලුවාව පදිංචි ධම්මික ප්‍රසන්න විජේසිංහ (41) සහ අනුර ජයතිස්ස විජේසිංහ (50) යන දෙදෙනෙකුට  මෙසේ මරණ දඩුවම නියම විය.

මීට වසර 14 කට ඉහතදී ඉබ්බාගමුව ඉන්ධන පිරවුම්හළක සේවය කළ තරුණියක් රවටා ලැගුම් හළකට රැගෙන ගොස් ඇය සන්තකයේ තිබූ ඉන්ධනහළට අයත් රුපියල් ලක්ෂ 9 ක් පැහැරගෙන තරුණිය ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධව මෙම පුද්ගලයින් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත අධිචෝදනා දෙකක් යටතේ 2014 වසරේදී කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

වසර 14 ක් පුරා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ ගොනුව තිබූ මෙම නඩුව මහාධිකරණ විනිසුරුවරිය විසින් සති තුනක් අඛණ්ඩව විභාගයට ගෙන අද දිනයේ දී තීන්දුව ලබා දුන්නාය.

තීන්දුව ලබාදීමෙන් පසුව වරදකරුවන් දෙදෙනාගෙන් අධිකරණයට යමක් කීමට ඇත්දැයි විමසූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයට කියා සිටියේ තමන් චෝදනා වලට නිවැරදිකරුවන් බවයි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ චාරක ධර්මසිරි මහතා පෙනී සිටි අතර ගොකරැල්ල පොලිසිය සාක්කි මෙහෙයවීම සඳහා සහය විය.