(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, අකුරැස්ස ප්‍රියන්ත දසනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා, මාලිම්බඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 4 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා 2020 වසරේ මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් අනෙක් නිලධාරීන් තිදෙනා ඔහු යටතේ මාලිම්බඩ පොලිසියේ එවකට රාජකාරී කර තිබූ බව මනතුංග මහතා කීය.
2020 වසරේදී මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් සිවු දෙනකු අනීතිකව පුද්ගලයකු රදවාගෙන පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර මාතර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් සිවුදෙනාට මහාධිකරණ විනිසුරුවරයා විසින් මුදල් සහ ශරීර ඇප ලබාදීමට නියෝග කර තිබුණි.
සැකකාර නිලධාරීන් විසින් සිදුකළ එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.