( +++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මොනරාගල නයනජීව බණ්ඩාර)
හිසට වෙඩි තබා 29 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පෙර පාසල් ගුරුවරියක පොලිස් නිල සුනඛයකු දුන් ඉවක් ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකපිට අත්අඩංගුවට ගත් බව තණමල්විල මූලස්ථාන පොලිසිය පවසයි.
එක් දරු මවක වන සැකකාරිය සැමියාගෙන් වෙන්වී වෙසෙන බවද පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර තිබුණේ තණමල්විල පොලිස් වසමට අයත් සූරියආර, කුමාරගම පදිංචිව සිටි පරණගමගේ චමින්ද විජේරත්න (29) නමැති අවිවාහක තරුණයෙකි.
හිසට වෙඩි තබා ඝාතනය කර තිබූ මෙම තරුණයාගේ සිරුර තණමල්විල සමාධිගම ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ඉකුත් 10 වැනිදා සොයාගැනිණි.
අත්අඩංගුවට ගත් 35 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය ඇය විසින් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට පැවසෙන කටුවන ප්‍රදේශයේ පුද්ගලයකුට දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම තරුණයා ඝාතනය කර ඇති බවට හෙලිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (12) පැවැසීය.
සැකකාර පෙර පාසල් ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙලිවිණැයි පොලිසිය පවසයි.
හිසට වෙඩි තබා තරුණයා ඝාතනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ඝාතනයට ලක්වූ තරුණයා මුදල් පොලියට දෙන අයකු බවත් ඔහු මෙම සැකකාර පෙර පාසල් ගුරුවරියට රුපියල් 50,000ක පමණ මුදලක් පොලියට දී ඇති බවත් පොලිසියට දැන ගැනීමට ලැබී ඇති බව කියති.
තරුණයා එම ණය මුදල හෝ පොලී මුදල් ඉල්ලාගෙන පෙර පාසල් ගුරුවරියගේ නිවසට නිතර ගියත් ඔහුට මුදල් ලැබී නොමැති බවට තොරතුරු ලැබී තිබෙන බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
ණය මුදල් හෝ පොලී මුදල් නොදෙන්නේ නම් ඒ වෙනුවට තමා සමඟ විවාහ වන ලෙසට තරුණයා යෝජනාවක් කර ඇතත් පෙර පාසල් ගුරුවරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද පොලිසියට දැනගැනීමට ලැබී ඇති බව පැවසේ.
තරුණයා ණය මුදල හෝ පොලී මුදල ඉල්ලා ගැනීමට පෙර පාසල් ගුරුවරිය පදිංචිව සිටින සමාධිගමට ගිය අවස්ථාවේ ඔහු ඝාතනයට ලක්වී ඇතැයි ද කියති.
ඝාතකයා ගැන කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබුණ නිසා පොලිසිය මොනරාගල මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිල සුනඛ ‘ඩෙනී’ අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගොස් ඉව කිරීමට සලස්වා ඇති අතර ඩෙනී මළ සිරුර වැටී තිබුණ ස්ථානයේ සිට මීටර් 60ක් පමණ දුරින් පිහිටි නිවසක් තුළට ගොස් නතරවිණැයි පොලිසිය කීය.
පොලිස් නිල සුනඛ ඩෙනී දුන් එම හෝඩුවාව අනුව එම නිවසේ සිටි පෙර පාසල් ගුරුවරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිවූ බව පොලිසිය කියයි.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න සහ එම කොට්ඨාසයේ ඌව පළාත් භාර අධීක්ෂණ නිලධාරි පොලිස් සැරයන් ජයතිස්ස (14995) යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් නිල සුනඛ ඩෙනී මෙහෙයවා ඇත්තේ පොලිස් සැරයන් හෙට්ටිආරච්චි (41713) මහතා විසිනි.
මොනරාගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සහ සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගල යන මහත්වරුන්ගේ උපදෙස් මත තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

