තරුණයන්ගේ පරිසර සිතුවම පොලිසිය ගලවයි


 

(ඩයනා උදයංගනී)

සොබාදහම සුරැකීමේ සංගමය නියෝජනය කරමින් පරිසර සංවිධාන කිහිපයක තරුණ තරුණියන් පිරිසක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ සවිකර තිබූ දැවැන්ත සිතුවමක් ඉවත් කිරීමට පොලිස් පරිසර කොට්ඨාශය අද (19) කටයුතු කළ අවස්ථාවේදී එම තරුණ තරුණියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පරිසර විනාශයන්ට විරෝධය පාමින් අඩි 70 ක දිගකින් සහ අඩි 20ක උසකින් යුතුව එම තරුණ පිරිස නිර්මාණය කර තිබූ සිතුවම අද (19) උදෑසන එම ස්ථානයේ සවිකරනු ලැබ ඇත්තේ පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් වෙනුවෙන් බව සිතුවම නිර්මාණය කළ කලාකරුවෝ පැවසූහ.

මෙය සවිකරනු ලැබුවේ කොළඹ නගර සභාවේ සහ පොලීසියේ අවසරයෙන් බව ද ඔවුහු සඳහන් කළහ.

කොළඹ මහ නගර සභා සේවකයන් ලවා පොලීසිය මෙය ඉවත් කරනු ලැබූ අවස්ථාවේ එය නිර්මාණය කළ තරුණ තරුණියන් චිත්‍රය බිම එලාගෙන ඒ මත වාඩි වී විරෝධය පළකරනු ද දක්නට ලැබිණි.

පොලිස් පරිසර සංරක්‍ෂණ කොට්ඨාශයේ සහ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පරිසර කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්‍ෂ මහතා මෙහි දී පැවසුවේ ඉතා සුන්දර ස්ථානයක් වන විහාර මහා දේවී උද්‍යානයට ස්වභාවික සුන්දරත්වයට මෙවැනි විශාල ප්‍රමාණයේ බැනරයක් නොගැලපෙන බවයි.

මෙය සවිකිරීම වෙනුවෙන් පොලීසියෙන් නිසි අවසර ගෙන නොමැති බවත්, නගර සභාවෙන් අවසර ගෙන ඇත්දැයි යන්න ගැන පරීක්‍ෂණයක් කරන බව ද ඔහු පැවසීය.

පොලිසියෙන් අවසර ලබාගත්තේ නම් මෙම සිතුවම සවි කිරීමට සුදුසු ස්ථානයක් දිය හැකිව තිබූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

(ඡායාරූප ශාන්ත රත්නායක)