(චන්ද්‍රෙස්න ගමගේ )
වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පැදීමට ගිය තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු ඔරුව පෙරලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මියගිය තරුණයා සමඟ තවත් තරුණයන් තිදෙනකු අද (07) සවස 03 ට පමණ උඩ කිරිවිල වැවේ ඔරු පදිමින් සිටියදී ඔරුව පෙරළී ඇති බවත් ඉන් අනතුරුව මෙම තරුණයා දියේ ගිලී ඇති බවත් පොලිසිය පවසයි.
තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක බලකා නිලධාරීන් වීරකැටිය පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියකින් අනතුරුව මිය ගිය තරුණයාගේ සිරුර අද සවස 05 පමණ සොයා ගනු ලැබීය.
මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා තංගල්ල මූලික රෝහල වෙත යවනු ලැබීය .
දියේ ගිලී මිය ගොස් ඇත්තේ මාතර හිත්තැටියේ පදිංචි 21 වියේ පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ සිසුවෙකි.