තරුණ පාර්ලිමේන්තු මැතිවරණය මෙවර ඉලෙක්ට්‍රොනික ක්‍රමයට


(ඩයනා උදයංගනී)

තරුණ පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් 356 දෙනෙකු තෝරාගැනීම සදහා වන ‘තරුණ පාර්ලිමේන්තු මැතිවරණය 2020’ පෙබරවාරි මස 14 වැනිදා පැවැත්වෙන අතර මෙවර එය ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන  බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
 
මැතිවරණය සඳහා ඡන්ද අපේක්ෂකයින් ලියාපදිංචිය පෙබරවාරි මස 07 සහ 08 යන දිනයන්හි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
 
මෙවර තරුණ පාර්ලිමේන්තු මැතිවරණය යෞවන සමාජවල තරුණ තරුණියන්ට පමණක් සීමා නොවන අතර මෙරට සිටින වයස අවු 18ත් 29ත් අතර සියලූ තරුණ තරුණියන්ට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව උදාවීම විශේෂත්වයක් බව ද දුමින්ද දිසානායක මහතා කීවේය.
           
තරුණයන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්තරුණ කටයුතු අමාත්‍යාංශයත් හා ජාතික තරුණ සේවා සභාවත් එක්ව ක‍්‍රියාත්මක තරුණ පාර්ලිමේන්තු වැඩසටහන යටතේ මෙවර මෙම මැතිවරණ්‍ය පැවැත්වෙන්නේ 5 වැනි වරටය. 
 
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
මෙම පාර්ලිමේන්තුවට තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 334 දෙනෙක් ඡන්දයෙනුත් උසස් අධ්‍යාපන හා අනෙකුත් ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් 22කුත් ඇතුළුව 356 දෙනෙක් තෝරා ගන්නා බව ද දිසානායක මහතා පැවසීය.