තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් විහාරයක නටඹුන් මතුවෙයි


(අමදෝරු අමරජිව)

භාවනා යෝගි භික්ෂුන් වහන්සේලා වැඩ සිටි බවට සැලෙකෙන අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි සංකීර්ණයක නටබුන් රැසක් තඹලගමුව ගල්මැටියාව රක්ෂිතයෙන් හමු වූ  බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නොසිදෙන ඉතා පිරිසිදු ජලය ඇති විශාල ගල් පොකුණක් කේන්ද්‍ර කරගෙන මෙම ආරාම සංකීර්ණයකට අයත් නටබුන් වු ගොඩනැගිලි සංකිර්ණය පොකුණ වටා පිහිටා තිබිමෙන් පෙනි යන්නේ භාවනායෝගි භික්ෂුන් වහන්සේලා මෙම පොකුණ පැන් පහසුව සදහා භාවිතා කරන්නට ඇති බව මෙම ගවේෂණයට එක්වු පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා පවසයි.

යුධ හමුදාවේ සහයෝගය ඇතිව සිදුකල මෙම ගවේෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වු පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා මේ ස්ථානය පිහිටා තිබෙන්නේ ගල්මැටියාව ඉදිවැවේ ඉදලා කිලෝ මීටර් අටක් රක්ෂිතය තුලයි. ත්‍රිකුණාමල අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ හොරොව්පතාන ආසන්නයේදි මෙම ස්ථානය දැකගැනිමට ලැබුණා.අනුරාධපුර යුගයට අයත් ආරාම සංකිර්ණයක යැයි සැලකෙන ගොඩනැගිලි සංකීර්ණයක නටබුන්, පොකුණක්, පොළවට වැසිගිය දාගැබක පොලොම මතුපිට පෙනෙන ගඩොල් මෙම ස්ථානයේ තියනවා. පොකුණ වටා තමයි ගොඩනැගිලි සංකිර්ණය පිහිටා තිබුණේ.

කළුගලින් කළ ගොඩනැගිලි සංකිර්ණයක නටබුන් අතර ඉපැරණි ගල්වඩුවා ගලකින් ගලක් වෙන්කර ගැනිමට කොරි සලකුණ හෙවත් ගල්කටු සලකුණ මෙහි තිබිම විශේෂත්වයක් වෙනවා.

පොකුණට බැසිමට මනරම් පියගැට පෙලක්ද මෙහි පිහිටා තිබෙනවා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ ආනන්ද විතානගේ මහතාගේ උපදෙස් මත ලුතිනන් හේවගේ, මහතා ඇතුලු කණ්ඩායමක් අපි සමග මෙම ගවේෂණයට එක්වුණා යැයිකිය.