ණය ගෙවා ගන්න බැරුව කාන්තාවෝ 200ක් සියදිවි හානි කරගෙන


(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකවූ  පවුල් වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුනේදී  සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවන්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා  පාර්ලිමේන්තුවේදී අද (12)  පැවසීය.

"තත්වය මේක  නම් මේකද අපි හදපු ආර්ථිකය" යැයිද  ඔහු ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ මූල්‍ය ණය ප්‍රශ්නය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේදීය.

ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.

ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා ගෙදරින් එළියට යනවා. ණය මහත්තයා වාරික එකතු කරන්න එන දිනය මට කලින් දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතිං එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. වාරික පහක්ම ගෙව්වෙ ඒ විදිහට තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතා ගන්නවත් බැහැ.ඒ තරමටම ක්ෂුද්‍ර  මූල්‍ය ණය පීඩනය අපි විනාශයට පත්කරලා.