ඩොලරය රුපියල් 200 කඩයිමේ


හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (06) 199.40 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.