ඩෙංගු මඩින්න කියුබා සහය


(අංජුල මහික වීරරත්න)

ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීම සඳහා කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර ඇත.

ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීම, මදුරු කීට බෝවීම මර්දනය කිරීම සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබා සහාය ලබා ගැනීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහත්වරුන්   (Andres Marcelo Gonzales Gorrido) අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක දී මෙම කරුණු අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර,මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.